ඇල්පිටිය සහ ජා-ඇළ කැබ් යතුරුපැදි ගැටී උසස් පෙළ ලියන දියණියන් දෙදෙනකුට මවුපියෝ අහිමි වෙති

ඇල්පිටියේ සහ ජා-ඇළ සිදුවූ රිය අනතුරු දෙකකින් උසස් පෙළ කරන සිසුවියන් දෙදෙනකුට මවුපියන් අහිමි වී තිබේ. ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගනිමින් සිටි අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම, හල්පතොට, පෙඩ්ඩෘවත්ත ලිපිනයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (43) සහ ඔහුගේ බිරිඳ වන දහනායක මුදියන්සේලාගේ ගංඟා නිල්මිණි (38) නමැති අඹුසැමි යුවළකි. (මේ අනතුර පිළිබඳව සම්පූර්ණ පුවත 3 පිටුවේ පළ වේ.)

මේ අතර ජා – ඇළ පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි කැබ් රථ අනතුරකින් තිදරු අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර 06 දින උදෑසන 10ට පමණ ජා – ඇළ තුඩැල්ල අඩක්කල දේවමාතා දේවස්ථානය අසලදී සිදුව ඇත. මෙලෙස අනතුරින් මියගොස් තිබුණේ අංක 127 නව ජොසිටා වත්ත ඒකල පදිංචි ෆැන්සිස් ප්‍රදීප් කුමාර (46) නමැති යතුරුපැදි කාර්මික ශිල්පියකු හා ඔහුගේ බිරිඳ වූ පී.චාන්දනී (47) නමැති අඹුසැමි යුවළයි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දියණියක් හා තවත් දියණියන් දෙදෙනකුගේ මවුපියන් වන මෙම යුවළ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය බාල දියණිය ජා – ඇළ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට ඇරලවා යතුරුපැදියෙන් ආපසු නිවස වෙත එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. ජා – ඇළ සිට ආපසු එමින් සිටි යුවළගේ පිටුපසින් එම දිසාවටම අධික වේගයෙන් ධාවනය වූ බොලේරෝ කැබ් රථයක් මොවුන් දෙදෙනාද යටකරගෙන ඉදිරියට ඇදී ගොස් පෙරළී ගිය බව සිද්ධිය දුටුවෙක් පවසා සිටියේය. අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරු ද අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ ලොරි සහායකද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ජා – ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් බස්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කරයි.

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර, හිනිදුම රවින්ද්‍ර ලියනගේ, ජා – ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *