ජනපතිගෙන් විශ්වවිද්‍යාල සිසුන්ට ඇරයුමක්

ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී විශ්වවිද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරිවර්තනීය ප්‍රයත්නයන් සඳහා ක්‍රියාකාරීව එක් වන ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට ඇරයුම් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ පසුගියදා යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුව අමතමිනි. රටේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත පැවරී ඇති ප්‍රමුඛ කාර්යභාරය පිළිබඳව පැහැදිළි කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.

මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දිය හැකි අන්දමින් උතුරු පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වෙන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ ගාමක බලවේගය එරට මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීම ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරිමේ රජයේ සැලසුම් පිළිබඳවද සිසුන් දැනුවත් කළේය.

එසේම ඩිජිටල් තාක්‍ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටක් ලෙස කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සහ ත්‍රිකුණාමලය ශක්තිමත් වරායන් බවට පත් කිරීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළේය. දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරම සිට ඉන්දියාව දක්වා ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම පිළිබඳව ද තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

2025 වන විට 5% ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සහ 2030 වන විට එය 7%ක් දක්වා ක්‍රමයෙන් වැඩි කර ගැනීමේ ඉලක්ක පිළිබඳවද කරුණු පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව කඩිනමින් ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

සමෘද්ධිමත් හා සංවර්ධිත ශ්‍රි ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සියලුදෙනා එක්වීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම ඉටු කිරීමට විශ්වවිද්‍යාල සිසුන්ද කැපවනු ඇති බවට විශ්වාසය පළ කළේය.

මෙහිදී සිසුන් නැගු ප්‍රශ්නවලට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන් අතර එම ප්‍රශ්න කිහිපයක් සහ ඊට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය:

රටක ආදායමේ ප්‍රධාන සාධකය වන්නේ බදු ආදායමයි. ව්‍යවසායකත්ව අදහස් සහ ව්‍යසායකත්වය පිළිබඳ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලදී හදාරනවා. නමුත් ජනාධිපතිතුමනි, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා, ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ අදහස් ඇතුළත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර:

ඔබට ඔබේ පීඨයේ එවැනි කවයක් ස්ථාපිත කරගෙන අපගේ ආර්ථික කටයුතු පිළිබඳ කණ්ඩායම සමඟ ඍජුවම සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, මෙම වැඩසටහන සියලුම විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරනවා නම් එය වඩාත් සුදුසු බව කිවයුතුයි.

පිළිතුර:

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වලට දිනක් හෝ දෙකක් මහා භාණ්ඩාගාරයට පැමිණ එහි කටයුතු සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දිය හැකියි.

ප්‍රශ්නය

විශ්වවිද්‍යාල සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී සිටිනවා. එක් අවස්ථාවක අපගේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවීමට සිදුවීම නිසා සියදිවි නසාගැනීමේ සිදුවීමකුත් වාර්තා වුණා. එබැවින් මූලික මට්ටමේ සිටම සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර:

මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙවැනි ප්‍රශ්නයක් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලයේද එවැනි ප්‍රශ්නයක් මතුව නැහැ. නමුත් ඔබ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාව හැදෑරිය යුතුයි. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක්. ඔබ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය සමග වැඩකරනවා නම් ඔබට ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කටයුතු සිදු කරනවා. ඉදිරියේදී බොහෝ දුරට චීනයත් මේ මාවත අනුගමනය කරනු ඇතියි.

ඉදිරි වසර දෙක තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දීමට අප සැලසුම් කර තිබෙන නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම අනිවාර්ය වී තිබෙනවා.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙන්ම අවශ්‍යනම් බ්‍රිතාන්‍ය කවුන්සිලය වැනි ආයතන මගින් ඒ සඳහා පහසුකම් සළසා දීමට අප අපේක්ෂා කරනවා.

ප්‍රශ්නය:

ජනාධිපතිතුමනි, රාජ්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අධ්‍යයන සුදුසුකම් ලබා ගැනීමට වැය කරන කාලය, පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූරණ කිරීමට වැය කරන කාලයට වඩා ඉතා වැඩියි. එබැවින් අප රැකියා වෙළඳපොළට යන විට, අපට වඩා අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. මේ සඳහා ඔබතුමාගේ යෝජනාව කුමක්ද?

පිළිතුර:

මම අධ්‍යාපනය ලැබුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක. මම අවුරුදු 18දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළා, වයස වුරුදු 21දි උපාධිධාරියෙක් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිට වුණා. වයස අවුරුදු 23 දි නීතිඥයෙක් වුණා.

මෙය විශ්වවිද්‍යාල තුළ පවතින අභ්‍යන්තර ප්‍රශ්නයක්. අද ඇතැම් පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවුල් කරනවා. නමුත් අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරනකොට, උපකුලපතිතුමා සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබුණා පළමු වාරයේ අවසාන සති දෙක පමණක් වර්ජන සඳහා වෙන් කරනවා කියලා. ඉතින් එතුමාත් ඊට එකඟ වුණා. අපි එය කළා. ඒ නිසා මම හිතන්නේ අප එක් ක්‍රමයකට අනුව වැඩ කිරීම ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් වූ පසු නියමිත අවුරුදු තුන හෝ හතරකින් අධ්‍යාපන කටයුතු අවසන් කර විශ්වවිද්‍යාලයෙන් පිටවිය යුතු බවට ඉදිරියේ දී නීතියක් ගෙන ඒමට ද අප අපේක්ෂා කරනවා. වෛද්‍ය විද්‍යාලවලට එසේ අවශ්‍ය වන්නේ නැහැ.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, මට යෝජනාවක් කරන්න පුලුවන්ද? බොහෝ විට රජයේ පාසල් ආරම්භ වන්නේ සහ අවසන් වෙන්නේ එකම දවසක. ඇයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් ඒ දේම කරන්න බැරි?

පිළිතුර:

විශ්වවිද්‍යාලවල අධ්‍යයන වර්ෂය ඔක්තෝබර් මාසයේ ආරම්භ කරනවා. ඒ වගේම එය ඊළඟ වර්ෂයේ සැප්තැම්බර් 30 වෙනිදායින් අවසන් වෙනවා. අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදීත් අධ්‍යයන වර්ෂය ආරම්භ වුණේ ඔක්තෝබර් මාසයේ. බොහෝ රටවල් වලත් ඔක්තෝබර් සිට සැප්තැම්බර් දක්වා තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන වර්ෂය ක්‍රියාත්මක් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, උතුර පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තික්ෂණ අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුනරාජා, යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනි වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *