ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ

2025 දී 5%ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා එකඟත්වයකින් යුතුව ඉදිරියට යා යුතුයි.
මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සිදු කළහොත් රුපියල යළි අවප්‍රමාණය වෙනවා.
කැප කිරීම් රැසක් හමුවේ උදාකරගත් රටේ ආර්ථික ප්‍රගතිය ආපසු හැරවිය නොහැකියි.
අසීරුතා මධ්‍යයේ වුවද හැකි සෑම සහනයක්ම ඉදිරියේදීත් ජනතාවට ලබා දෙනවා.
හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට කඩිනමින් පත් කළයුතුයි – හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමින් ජනපති පවසයි.
ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බවත්, දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්විණි.

මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31ක් යටතේ අනු ක්ෂේත්‍ර 66ක් නියෝජනය කරමින් මෙම තරගය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ලැබුණ නිර්මාණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලැබිණි.

මෙම ජයග්‍රාහකයන් ස්වර්ණ සහ රජත සම්මානවලින් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන වෙත කුසලතා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

ලෝක ශිල්ප සභා තරගාවලිය 2023හි ජයග්‍රාහී ශිල්පීන් දෙදෙනා වෙත සහ ස්වර්ණ සම්මාන ලාභීන් දෙදෙනා වෙත ත්‍යාග මුදල්, සහතික පත් හා කුසලාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද මෙහිදී විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

මේ අතර “ශිල්ප අභිමානී 2023” නිර්මාණ තරගයේ දී ජයග්‍රහණය කළ නිර්මාණ නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ජයග්‍රාහී කලාශිල්පීන් අගයනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2023 වසරේදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූවන් හදුනාගෙන ඔවුන් සම්මානයෙක් පිදුම් ලැබීම මෙහිදී සිදු කරනු ලැබුවා. පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති තත්ත්වයන් හේතුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුණා. කෙසේ හෝ අද මෙම ප්‍රදර්ශනය පුරාවට දක්නට ලැබෙන්නේ අපේ ශිල්පින්ගේ දක්ෂතා බව කිවයුතුයි.

මෙම දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. අපට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මෝස්තර පමණක් නොවෙයි, බටහිර මෝස්තරවලින්ද අප ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉන්දියාව දැනටමත් එම කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳ අපද අවධානය යොමු කළයුතුයි. මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කරන්නේ රටේ ආදායම ඉහළ නංවා ගැනීමයි.

මෙහිදී අප අපනයන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළයුතුව තිබෙනවා. අපනයන කර්මාන්තයෙන් ඈත්වී කටයුතු කිරීම අද අපට රටක් ලෙස අසිරු කාර්යයක්. ඒ වෙනුවෙන් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉදිරියේ දී අවශ්‍ය නම් විදේශ තාක්ෂණ දැනුම ලබා ගැනීමට වගේම තම හැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටින බව කිවයුතුයි.

අප පසුකළේ ඉතා අසීරු කාලයක්. එම අසීරු කාලය තුළද කෙසේ හෝ රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඒ පිළිබඳ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. 2022 වර්ෂයේ අපේ රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටිලයි තිබුණේ. සංචාරකයින් ලංකාවට පැමිණිම නතර වී තිබුණා. මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය රදා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි.

රටේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව අපේ ආර්ථිකය නැවත සකස් කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා.

2022 වසරේ ණය ගෙවීමට නොහැකි බව අප කියා සිටියා. ඒ අනුව ඉදිරියට යාම සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමට අපට සිදු වුණා. ඒ නිසා තමයි අලාභ ලබන අංශ සියල්ලම ලාභ ලබන අංශ බවට පත්කිරීමටත්, ඇතැම් සහන අඩු කිරීමටත් අපට සිදු වුණේ.

ඒ අනුව පසුගිය වසරේ තුන්වන සහ හතරවන කාර්තුවලදී තරමක ආර්ථික දියුණුවක් ලබා ගැනීමට අපට හැකි වුණා. අප දැන් පසුගිය වසරේ අවසන් කාර්තු 02හි ප්‍රගතිය සහ මෙම වසරේ කාර්තු 04හි ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර මෙම වසරේ 2% ධන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගතහොත් එය ඊළග වසරේදී 5%ක් දක්වා ඉහළ නංවාගත හැකියි. එසේනම් මෙම ආර්ථික වර්ධනය සමඟ අප ඉදිරියට යා යුතුයි. එහිදී අප එකඟත්වයක් ඇතිව කටයුතු කිරීමට අවශ්‍යයි.

අපට තිබු විශාලම ප්‍රශ්නයක් තමයි අප සෑමවිටම මුදල් මුද්‍රණය කිරීම. ඒ වගේම බැංකුවලින් ණය ලබා ගැනීම. එයින් සිදු වුණේ රුපියලේ අගය පහළ යාමයි. රජයේ අවශ්‍යතාවලට බැංකුවලින් ණය අරගෙන රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුණා. ඒ නිසා බැංකුවලින් ණය ලබා නොගන්න බවට සහ මුදල් මුද්‍රණය නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවිමට අපට සිදු වුණා.

එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනිමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්. දළ ජාතික නිෂ්පාදනයෙන් 15%ක ආදායමක් ලබා ගත හැකිනම් අපට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ශක්තියක් තිබෙනවා.

මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නම් සහ බැංකුවලින් ණය ලබාගත නොහැකි නම් අපට තිබෙන එකම මාර්ගය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමයි. එහිදි වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. ඒ අනුව 15%ක්ව තිබු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කළා. ඒ වගේම වැට් බදුවලින් ඉවත්ව තිබු භාණ්ඩ ගණනාවක් වැට් බදු යටතට පත් කළා. එමඟින් දැන් අපට අවශ්‍ය ආදායම ලැබෙනවා. එම නිසා රුපියල ශක්තිමත් වෙනවා. අසීරුවෙන් වුවත් එම බර දරා ගැනීමට අප සියලුදෙනාට සිදුවී තිබෙනවා. අමාරුවෙන් හරි අපි යා යුත්තේ මෙම මාර්ගයෙයි. එයින් ඉවත්වුණොත් අපට අනාගතයක් නැහැ.

ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම සැලසීමට අප කටයුතු කර තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දිමනාවක් ලබාදීම, අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීම, ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වැනි සහන ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් සහන ලබාදීමට කටයුතු කරනවා.

මෙම මාර්ගය හැර අපට වෙනත් මාර්ගයක් නැහැ. ඇතැම් අය කියනවා මුදල් මුද්‍රණය කරන්න, බැංකු ණය ලබා ගන්න කියලා. එය සිදු කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැහැ. මේ යන මාර්ගයේ දුෂ්කරතා තිබුණත් වසර අවසානයේ රුපියල ශක්තිමත් වෙනවා. වසරින් වසර එම අගය ඉහළ යනවා.

තමන්ට එම වටිනාකම ලැබෙනවා. නමුත් ඉන් බැහැරව කටයුතු කළහොත් රුපියලේ අගය නැවත පහළ යනවා. සහන දෙනවා කියන්නේ රුපියල අවප්‍රමාණය කිරීම නොවෙයි. එය අපට කරන්න බැහැ.

ඒ නිසා මෙය ජනප්‍රිය වැඩපිළිවෙළක් නොවෙයි. මේ හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හැර රට ගොඩගැනීමේ වෙනත් වැඩපිළිවෙළක් යමෙකුට තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නේ කෙසේද කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. අපට ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටිණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ.

අසීරුකම් මධ්‍යයේ වුවද දැන් රට දියුණු වෙමින් පවතිනවා. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් ඇති වුණා. ඒ අනුව එම ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේ ගැටළු විසඳෙමින් තිබෙනවා. මේ අන්දමට ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රවලද ගැටලු නිරාකරණය වෙනවා.

කෙසේ හෝ මෙම අවස්ථාවේ රුපියල අවප්‍රමාණය කිරීමට මම කැමති නැහැ. යුක්‍රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි.

දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.

රුපියල ශක්තිමත් කරගෙන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ අප ඉදිරියට ගියහොත් අපට ඉක්මණින් දියුණුවක් ලබා ගැනිමට හැකියාව තිබෙනවා. එහිදී මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයත් විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත්කළ යුතු අතර ඊට අවශ්‍ය සහය ලබාදිමට රජය කටයුතු කරන බව ද මම සිහිපත් කිරීමට කැමතියි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා,

වසර විස්සක් තිස්සේ මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයේ නිරතව සිටින පිරිස් ඇගයීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලැබුවා. රට අර්බුදයකට ලක්ව තිබූ පසුබිමක වුවද නව වසරේ නැවුම් බලාපොරොත්තු සහිතව මේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම මහත් භාග්‍යයක් කොට සලකනවා. රජයේ සහ සම්ප්‍රදායික කර්මාන්ත කේෂ්ත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම මත හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය අද වන විට යම් පිබිදීමකට ලක්ව තිබෙනවා.

රට අර්බුදයකට ලක්ව තිබුණත් මේ කේෂ්ත්‍රයේ නිරතව සිටින කලාකරුවන් ඇගයීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම අපට මහත් ශක්තියක් බව කිවයුතුයි. පසුගිය අයවැයෙන් සාම්ප්‍රදායික කලාශිල්පීන්ට අවශ්‍ය කරන ණය පහසුකම් පවා ලබා දුන්නා. හස්ත කර්මාන්තයට ලෝකයේ මහත් ඉල්ලුමක් තිබෙනවා. 2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම කර්මාන්තකරුවන් පසුගිය කාලයේ අර්බුද රැසකට මුහුණ දී තිබුණා. ඔවුන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම බාධාවක් වී තිබුණා. නමුත් අපි කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සොයා දීමට කටයුතු කළා. අද වන විට සාම්ප්‍රදායික කර්මාන්තය නව ප්‍රබෝධයකින් යුතුව ඉදිරියට යමින් තිබෙනවා. අප සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුව තිබෙනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ද, විදෙස් මහකොමසාරිස්වරු, තානාපතිවරු සහ අදාළ රේඛීය ආයතනවල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD NewsPMD NewsPMD NewsPMD NewsPMD NewsPMD NewsPMD NewsPMD NewsPMD News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *