වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් සහ ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා.

රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුතු වන්නේ මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත්, ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත් පවසමින් මෙම පෙත්සම් ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍යය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙක් සහ අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් සිය රාජකාරි පැහැර හැර ඇති බවත්, අරගල සමයේ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ඔහු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු සමයේ බවත් මෙම පෙත්සම් මඟින් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *