ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් ගෙන එනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
මෙසේද පැවසීය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.

අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.

අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.

‘සංහිඳියා’ සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම ‘සංහිඳියා සමාජය’ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.

අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා‌ වෙනස් වෙන්න තිබුණා.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *