අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ​ඉදිරි පැය 12 තු​ළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනු​ව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී  වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *