සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

  • ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනපති පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් ‍ මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 7.5 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම ජනාධිපතිවරයාගේ අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

“මා ආණ්ඩුව භාර ගන්නා විට ණය තිරසර බව ඇති කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව වැටහුණා. එහිදී අප විදේශ විනිමය උපයාගන්නේ කෙසේද සහ අප ධනාත්මක වෙළඳ ශේෂයක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළා. එහිදී බොහෝ යෝජනා ඉදිරිපත් වුණා. නමුත් මේ සඳහා අපට පහසුවෙන්ම ළඟා විය හැකි මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. ඒ අනුව අප සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරනවා. ඒ සඳහා දැන් තිබෙන රාමුවෙන් පිටතට යාමට අපට සිදුවෙනවා. එහිදී අප තරගකාරී විය යුතුයි.

ශ්‍රී ලංකා හෝටල් සංගමය අද එහි 58 වන සංවත්සරය සමරනවා. වියට්නාමය වැනි රටවල හෝටල් සංගම් සැලකීමේදී ආරම්භ කළ කාලය වසර 20ක් 30ක් විය හැකියි.

නමුත් මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ ඔවුන්ට අපට වඩා සංචාරකයින් සිටින්නේ කෙසේද යන්නයි. ඒ අනුව දැන් සලකා බැලිය යුතුව තිබෙන්නේ මේ අවස්ථාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි. පළමුව අප මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කර ගත යුතුයි.

මෙම වසරේ සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණියා. 2021 වසරට සාපේක්ෂව බලන විට මෙම තත්ත්වය යහපත් බව පැවසිය හැකියි. නමුත් ලබන වසරේ එය මිලියන 2.5ක් විය යුතුයි. ඒ වගේම වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුයි. දෙවනුව, අප එක් සංචාරකයෙකුගෙන් කොපමණ මුදලක් උපයනවාද යන්න වගේම එම ප්‍රමාණය වැඩි කරගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. තවදුරටත් එහිදී අප අවම ගාස්තු අයකරන යුගයෙන් ඉවත්ව ඉහළට යා යුතුයි. ඒ සඳහා අප විධිමත් සැලස්මක් සකස් කළ යුතුයි.

මෙහිදී සංචාරක ව්‍යාපාරය තුළ අප ඉහළම ගුණාත්මකභාවයකින් යුතු බව සහතික කළ යුතු වෙනවා. ඒ වගේම අපගේ සංචාරක ව්‍යාපාරය විශේෂීකරණය විය යුතුයි. එසේ නොමැතිව අපට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අත්කර ගැනීමට නොහැකියි. අපට බෙහෝ හැකියාවන් තියෙනවා. නමුත් අප එම හැකියාවන් වර්ධනය කරගෙන නැහැ.

අපේ ආහාර සංස්කෘතිය දෙස බැලුවහොත් එය එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට වෙනස් වෙනවා. ඔබ එය භාවිත කර තිබෙනවාද? එසේනම් අප ආහාර සංස්කෘතියේ ඇති ඒ වෙනස සංචාරක ව්‍යාපාරය වෙත ගෙන එමු. අප විවිධාකාරවලින් සුවිශේෂී විය යුතුයි.

සංචාරක ව්‍යාපාරය අපට අලුත් දෙයක් නෙවෙයි. එය අනුරාධපුර යුගය තෙක් ඈතට දිවයන්නක් බව කිව යුතුයි. එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා. මම එය අනුමත නොකළත්, අතීතයේ දී ඔවුන් ඔවුන්ගේම ක්‍රමයකට සංචාරක ව්‍යාපාරය ගැන කල්පනා කර තිබෙන බව අප හඳුනාගත යුතුයි.

සංචාරක ව්‍යාපාරයේ හොඳ යතුර ලෙස ආගන්තුක සත්කාරය පෙන්වාදිය හැකියි. සංචාරකයාට ලැබෙන නවාතැන්, ඔහුට ලැබෙන වෙනත් පහසුකම් මෙන්ම ලැබෙන ආහාර ගැන ද අප සඳහන් කළ යුතුයි. ඒවගේම අපේ ආහාර පිසීමේ හැකියාව පුළුල් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ ආහාර පමණක් නොව විදේශීය ආහාර වර්ග ද එහිදී හඳුන්වාදිය හැකියි. මූලිකවම, ස්පාඤ්ඤයේ පැයෙල්ලා සිට ජපානයේ සහල් දක්වා වන මුළු සහල් පරාසයම අපගේ ආහාර වට්ටෝරුවලට හඳුන්වාදිය හැකියි. ඒ වගේම අපට අපේම සංයෝජනයක් වූව ද සිදු කළ හැකියි.

2003-2004 වකවානුවේ අප ආරම්භ කළ බුටික් හෝටල් වෙත අවධානය යොමු කළහොත් ඒවා මේ වන විට හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපට ප්‍රවේශ විය හැකි විවිධ වෙළෙඳපොළ අවස්ථා තිබෙනවා. අප ගෝල්ෆ් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම අප මෙරට තිබෙන සංචාරක අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

එසේම කොළඹට පැමිණෙන සංචාරකයන් රඳවාගැනීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. මේ වන විට කොළඹට පැමිණෙන සංචාරකයින්ට සිදුවන්නේ ගංගාරාම විහාරය, කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍රය වැනි සීමිත ස්ථාන කිහිපයක් නරඹා යාමටයි. අප ඔවුන්ව කොළඹ රඳවාගැනීමට නම් නව සැලසුම් සකස් කළ යුතුයි. එම සැලසුම් විනෝදාස්වාදය, සංගීතය හා ආහාර සමග සකස් විය යුතුයි.

තවද ඉදිරියේදී කොළඹ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා වන ප්‍රදේශය නව ආකාරයට පරිවර්තනය වනු ඇතියි. දැනටමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සඳහා අපට යෝජනාවක් ලැබී තියෙනවා. ඒ වගේම කොළඹ, මහනුවර ඇතුළුව රට පුරා මෙතෙක් අවධානයට ලක් නොවූ නමුත් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. මෙම ස්ථාන දියුණු කරන්නේ කෙසේද කියා අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මේ සඳහා අලුත් චින්තනයක් අවශ්‍යයි. පරණ මනසින් අපට ඒ වෙත යාමට නොහැකියි. සෑම විටම අලුතින් සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරවා ගැනීම පිළිබඳ හිතන්න. එවිට අපට මිලියන පහේ ඉලක්කය ජය ගත හැකියි. අවම වශයෙන් ඩොලර් 500ක් හෝ 600ක් වියදම් කරන සංචාරකයන් මිලියන පහක් ඉලක්ක කරන්න. අපට එය කළ හැකියි. ඒ සඳහා අපට සීමාවන් නොතිබිය යුතුයි.

අප රාමුවෙන් පිට සිතිය යුතුයි. ඔබ සැමට එය කළ හැකි බව මට විශ්වාසයි. සංචාරකයින් මිලියන 5ක ඉලක්කය ළඟාකර ගත් පසු, ඉහළ ආදායමක් ලැබෙන සංචාරකයින් මිලියන 7.5 ඉලක්කයට යොමු වෙමු. එවිට ඩොලර් 750ක්, 1000ක් වියදම් කරන සංචාරකයන් කෙරෙහි අවධානය යොමු කළ හැකියි.”

මෙම අවස්ථාවට සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම් එච්. එම්. පී. බී. හේරත්, ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් මහතා ඇතුළු නිලධාරීන් සහ හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *