ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම් 2 ක් නිෂ්ප්‍රභ කෙරේ

2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැරීම මඟින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ විජිත හේරත් යන මන්ත්‍රීවරු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසර සඳහා වන විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් ඉකුත් මාර්තු මස 03 වන දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවයි ඔවුන් සිය පෙන්වා දී තිබුණේ.

එම අතුරු නියෝගයට අවනතව කටයුතු කිරීම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් හිතාමතාම පැහැර හැර තිබෙන බවත් ඒ මඟින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *