ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීන මුදල් ඇමතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය Liu Kun මහතා පවසනවා.
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (19) පෙරවරුවේ බීජිං නුවර පැවති හමුවකදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට ඇති බව එහිදී සඳහන් කර ඇති චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇගයීමට ලක් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහය ලබාදෙන බවට චීන මුදල් අමාත්‍ය Liu Kun මහතා ජනාධිපතිවරයා හමුවේ සහතික වී ඇති බව සඳහන්.
අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.
චීනය සමග සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි චීන මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් යළි නැගී සිටීමේ අභියෝගාත්මක කාර්යයේදී චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා අගය කරන බවයි.
එමෙන්ම රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.