වික්‍රමරත්නට පොලිස්පතිවරයා ලෙස යළි සති තුනක සේවා දිගුවක්

විශ්‍රාම යාමෙන් අනතුරුව ද සේවා දිගුවක් ලබා දීමෙන් පසු පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පවතින තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය 09 වනදා අවසන් වුණා.

ඒ අනුව එදා සිට අද(13) දක්වා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.

කෙසේ වෙතත් තවමත් පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට අද සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

C.D වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව හිස් වූ පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු තෝරා පත් කරගැනීම මාස හයක පමණ කාලයක සිට නිසි පරිදි සිදුවන්නේ නැහැ.

එම නිසා වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකක දී ඔහුගේ සේවා කාලය මාස තුනකින් දීර්ඝ කළා.

අද සිදුකළ සේවා දිගුව ද අනුව එය මාස හයයි සති තුනක් වනු ඇති.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මේ වනවිට යෝජනා වී ඇති බව සඳහන්.

මේ අතර පොලිස්පති ධුරය සඳහා යම් අයෙකු පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවට, එම ධුරය හිස් වූ දිනයේ සිට පාර්ශ්ව රැසක් ප්‍රකාශ කර සිටියා.

නීතිඥවරුන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බවයි.

ඔවුන් මෙම ඉල්ලීම කර තිබුණේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බව පවසා ඇති නීතිඥ සංගමය, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබුණා.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ, එවකට ඊට අදාළ ව වගකිවයුතු තනතුරු දැරූ පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස්පති ධුරය සඳහා නම් කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොකරන ලෙසට ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.

එවන් පසුබිමක පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කර ගැනීමේ කටයුත්ත ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එම ධුරය යළි හෙට සිට හිස් වන්නේ දෙවන අවස්ථාවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *