සීතාවක, ආරාධනාකන්ද ප්‍රදේශයේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අවිස්සාවේල්ල – සීතාවක, ආරාධනාකන්ද ප්‍රදේශයේ පොලිසියට යාබද ඉඩමේ වසර ගණනාවක් ජිවත් වන ජනතාවට ඉවත් වන්නැයි පනවා ඇති නඩුවට අදාළව අධිකරණ කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත්, පොලිසිය වැරදි ආකාරයෙන් නඩුවක් පවරලා තිබේ නම් ඒ ගැන අවධානය යොමු කර, ඒ පුරවැසියන්ගේ අයිතිය සුරැකීම සඳහා, එම නඩුව සමතයකට පත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ, පා.ම. නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී 06 දින හදිසියේ මතුකළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි. සීතාවක ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන නිසා, මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නය ගැන අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. ඔහු මෙසේ කීය.
“ගරු අග්‍රාමාත්‍යතුමා සම්බන්ධීකරණ කමිටු සමිතියේ සභාපති වෙලා ඉන්න සීතාවක – ආරාධනාකන්ද කියන ප්‍රදේශයේ අවුරුදු 35ක් තිස්සේ ජීවත් වෙලා ඉන්න ජනතාව පවුල් 20ක, මේ ඒ අයගේ අවුරුදු තිස් ගානක් තියෙනවා, මේ හදපු ගෙවල් තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ පොලිසිය අසල තිබෙන ඉඩම, පොලිසියට යාබදව තියෙන ඉඩම ඉතාමත් හදිස්සියෙන් ගිහිල්ලා පොලිසිය නඩු දාලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ අයට ඉවත් වෙන්න කියලා. ඉතින් ඔබතුමා තමයි මේකේ සම්බන්ධීකරුණ කමිටුවේ සභාපතිතුමා. මේ ටිරාන් අලස් මැතිතුමාට හරි කියලා මේ පොලිසිය මෙච්චර කල් අවුරුදු 35ක් ගෙවල් හදනකන් බලන් ඉදලා. මේ අය කොහොමද ඉන්නේ? මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා. මේක සම්බන්ධකරණ කමිටුවේ තීරණයක් අරගෙන ඔබතුමාගෙන් මම ගෞරවයෙන් මේ මිනිස්සුන්ට සහනයක් ඉෂ්ට කරලා දෙන්න. මේ උසාවි නඩු දාලා එක පාරට ගිහිල්ලා. මේ අයට ඔප්පු තියෙනවා. මේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් තියෙන්නේ. ඔබතුමාට ගෞරවයෙන් අවධාන යොමු කරනවා මේ සම්බන්ධයෙන්.”
මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට මෙසේ ප්‍රතිචාර දැක්විය.
“ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා හදිසියේ මේ ප්‍රශ්නයක් ඇහුවා. උසාවියේ තිබෙන නඩුවක් සම්බන්ධව මට කටයුතු කරන්න බැහැ. නමුත් පොලිසිය වැරදි ආකාරයෙන් නඩුවක් පවරලා තියෙනවා නම් මේ කාරණය ගැන අපේ අවධානය යොමු කරලා, ඒ පුරවැසියන්ගේ අයිතිය සඳහා ඒ නඩුව සමතයකට පත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් අපට ලබාදීමට හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කරනවා.”