ලක්ෂ ගණනක් වියදම් කර ඉදිකළ අලි වැටක් විනාශයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව ප්‍රදේශයේ ගම්මාන රැසකට උග්‍ර ලෙස පවතින වනඅලි ගැටලුවලට විසදුමක් ලෙස ඉදිකළ විදුලි වැටක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
බලහරුව,අඹකොළ ආර,දෙබර ආර සහ හතරේ කණුව යන ගම්මානවල ආරක්ෂාව වෙනුවෙන් මෙම විදුලි වැට ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර එලෙස ඉදිකළ අලි වැට සදහා රුපියල් ලක්ෂ අසූවකට ආසන්න මුදලක් වියදම් කර ඇති බවයි සඳහන් වන්නේ.
අලි වැට නිසි නඩත්තුවක් නොමැති නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එමෙන්ම විදුලි වැටෙහි තිබූ බැටරි ඇතුළු උපකරණ සොරුන් විසින් ගලවාගෙන ගොස් ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අලි වැටෙහි විදුලි කම්බි සහ විදුලි කණුද කඩා වැටී විනාශ වී ඇති අතර මෙම විදුලි වැට අහිමි වීමත් සමග ප්‍රදේශයේ ගම්මාන වල වනඅලි ගැටලුවද උග්‍ර වී තිබෙනවා.
රුපියල් ලක්ෂ ගණනක් විනාශ වී යන බලහරුව විදුලි වැට නිසියාකාරව සකස් කර දී වනඅලි ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.