ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල මණ්ඩප ලෙස වැඩිදියුණු කරමින් ”අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලයක්” පිහිටුවීමට පියවර

ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පත් කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල මණ්ඩප ලෙස වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රමවේදය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2019.12.04 දින අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව එකී කමිටුවේ නිර්දේශ මත දැනට පවතින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20න් 19ක් විශ්වවිද්‍යාල මණ්ඩප බවට උසස් කිරීමට සහ ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාල නමින් නව විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට අදාළව නීතිමය විධිවිධාන පැනවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව හෙතෙම මෙහි දී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *